අසිරිමත් නත්තල උදාවෙයි

Share

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.

උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සහභාගිත්වයෙන් පවත්වන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනු ඇති.

අද මැදියම් රැයෙන් උදා වු නත්තල ලෝ වාසී කිතුනුවන්ට අසිරිමත් නත්තලක් වේවා යැයි අප සියත ප්‍රාර්ථනයයි.

Read more

Local News