ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද අධිකරණයට

Share

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ස්විස් තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් නිලධාරිනිය අද (30) යළි අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 16වනදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතයි.

තමන්ව පැහැරගත් බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ඒ අතර ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසටද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව මානසික සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කළේය.

එම කටයුතු අතරතුර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දුන්නේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා ඇයට එරෙහිව එල්ල කර ඇති  බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදීම අත්අඩංගුවට පත්විය.

අනතුරුව ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ කාන්තාව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

Read more

Local News