පසුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාවට පීඩාවට පත්ව ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, මාසයක් වැනි කාලයක් තුළ දී බඩු මිල අඩු කිරීමට කටයුතු කළ බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වු සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්තවලට සහන ලබා දෙමින් ඒවා ප්‍රවර්ධනය කළ හැකි වු බවත් අමාත්‍යවරයා පැවසීය.
“මතක තියා ගන්න අපි බහුතරයක් නැති ආණ්ඩුවක් කරන්නේ“ යනුවෙන් ද පැවසු අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව තුළ අයවැයක් තවමත් සම්මත කර ගෙන නොමැති බවත් කියා සිටියේය.
තවමත් සිදුකරනු ලබන්නේ ජනතාව සමඟ සිදුකරන වැඩ පමණක් බවත් පැවසු ඒ මහතා, පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය සමඟ පාර්ලිමේන්තුවට ගෙන එන අයවැයක් තුළින් ජනතාවට සේවය කළ හැකි පසුබිමක් නිර්මාණය කරන බවත් පැවසීය.
මේ වන විට ග්‍රාම නිලධාරී වසමකට ලක්ෂ 20 බැගින් ලබා දෙන බවත් පැවසු ඒ මහතා, මේ වසරේ ජනවාරී මාසය තුළ රජයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දෙන බවත් කියා සිටියේය.
මෙවැනි වැඩ ප්‍රමාණයක් මාසයක් තුළ සිදු කළ බවත් වසර 5ක් තුළ දී හිතා ගත නොහැකි වැඩ ප්‍රමාණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
බඩු මිල ඉහළ ගියේ පසුගිය ආණ්ඩුවේ ක්‍රියා තුළින් බවත් නව ආණ්ඩුවට මාසයක් තුළ දී බඩු මිල අඩු කළ නොහැකි බවත් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
පසුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට කඩා වැටී ඇති බවත් මේ වන විට ඒවා නඟා සිටුවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



