පතාල මිනිමරුවන්ට මරණ දඬුවම දිය යුතුයි – නිමල්

Share

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මරුවන්ටත්  මරණ දඬුවම දිය යුතු බව අධිකරණ මානව හිමිකම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා  මහතා පවසයි.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය අලුත්වැඩියාව සහ වර්ණ  ආලේප කිරිමේ කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය තීන්ත සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය බන්ධනාගාරය වෙත ලබාදීමේ උත්සවය සඳහා ඊයේ (2) එක්වෙමිණි.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

පසුගිය කාලය තුළ පෙනී ගිය කරුණක් තමයි අපේ අමාත්‍යාංශය යටතේ මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛතාවයන් තෝරා ගෙන නැහැ. උසාවි හදන්න විශාල වශයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. නමුත් බන්ධනාගාරවල සංවර්ධනයට මුදල් වෙන් කිරීම ප්‍රමාණවත්ව සිදු වෙලා නැහැ. නව රජය මගින් අපි මේ තත්ත්වය වෙනස් කිරීමට කල්පනා කරලා තිබෙනවා. බන්ධනාගාරගතව සිටින රැඳවියන් බන්ධනාගාර ගත වෙලා තියෙන්නේ ඔවුන්ගේම වරදින් නෙවෙයි.සමාජය මගින් වුණු  වැරදිත් මේ සදහා හේතු වෙලා තියෙනවා. ඒ නිසා සමාජයත් මේ සදහා වගකියන්න ඕන. රැඳවියන් වඩාත් තැන්පත් සමාජයක් තුළ බන්ධනාගාරය තුළ සිටීමට ඉඩ සැලසීම ශිෂ්ට සම්පන්න සමාජයක සලකුණක් බව අපි මතක තබා ගත යුතුයි.

බන්ධනාගාර වල සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් සංවර්ධනය කළ යුතුයි. බන්ධනාගාර සනීපාරක්ෂක පහසුකම් සදහා රුපියල් ලක්ෂ 100 ක් මේ වන විටත් ලබාදි තිබෙනවා. මෙම බන්ධනාගාර පරිශ්‍රයට ආවහම කිසිම ප්‍රියජනක දර්ශනයක් නැහැ. බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රජයෙන් ම මුදල් දෙන තුරු බලා ඉන්නේ නැතිව ධානපතියන්ගේ ආධාර ඇතිව රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් බන්ධනාගාරයේ තිබෙන ගොඩනැගිලි අලුත්වැඩියා කර තීන්ත ආලේප කිරීම සිදු කරනවා. කෙටි කාලයක් තුළ බන්ධනාගාර රැඳවියන්ගේ සහයෝගයෙන් මෙම අලුත් වැඩියා කටයුතු සිදු කර ගත හැකි වෙයි.

බන්ධනාගාර තුළ මරණ දඬුවමට ලක් වු රැඳවියන් ඉන්නවා. ඒ අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ යහපත් කල් ක්‍රියාව අනුව අවශ්‍ය පියවර ගැනීම සදහාත් කටයුතු සිදු වෙලා තිබෙන්නේ ඉතා මන්දගාමිවයි. ඉදිරියේදී මාසිකව මේ පිළිබඳව සමාලෝචනය සිදු කරලා හොඳ කල් ක්‍රියාවෙන් කටයුතු කරන රැඳවියන් සමාජ ගත කිරීම කඩිනම් කරනවා.

මත්ද්‍රව්‍ය භාවිතා කරන රැඳවියන් බන්ධනාගාර ගතව සිටිම බන්ධනාගාර තදබදයට  ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. හෙරොයින් ඡාවාරම බරපතළ කරුණක් ලෙස ලෝකයේ බොහොමයක් රටවල් වල සලකනවා. නමුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඉතා බරපතළ  වරදක් ලෙස සලකනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට කිසිදු සමාවක් නොදියි යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ රටේ විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා .

තරුණ වරදකරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ වරදකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ සදහා මත්ද්‍රව්‍ය මේ රටට ගෙන එන අය සහ විකුණන අය වග කියන්න ඕන. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට මරණ දඬුවම දිය යුතුයි . ඇමෙරිකා එක්සත් ජනපදය සිංගප්පුරුව මැලේසියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය ඡාවාරම සිදු කරන අයට මරණ දඬුවම ලබා දෙනවා. මගේ අදහස නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මරුවන්ට මරණ දඬුවම දිය යුතුයි කියලයි නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති සැලසීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීම යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News