ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන්ට එරෙහිව දැඩි ජනතා විරෝධයක් මතුවී තිබේ.
නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි අවස්ථාවකදී ජනතාව අගමැතිවරයා ඉදිරිපිටට පැමිණ ඔහු හෙලා දුටු ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට නොව ලැව්ගිනි නිවා දැමීමේ සහ ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්වලට මේ අවස්ථාවේදී රජය ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි.
හදිසි කළමනාකරණ අමාත්‍ය, ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් (David Littleproud) සමග සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.
මේ අතර නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල විදුලිය සහ සන්නිවේදන සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවත් මෙහිදී අවධාරණය කෙරුණි.
මෙම සතිය ආරම්භයේ සිට වෙරළාසන්න ගම්මානවල පැතිරී ගිය ගින්නෙන් පසු 50 000ක අධික පිරිසක් විදුලිය නොමැතිව කල් ගෙවන අතර ඇතැම් නගර පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමටත් නොහැකි වී තිබේ.
ගිම්හාන සමයේ ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, ලැව්ගිනි හේතුවෙන් මෙවර මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බව සඳහන්ය.
මේ සමග අගමැති ස්කොට් මොරිසන්ගේ කන්සර්වේටිව් පක්ෂයේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තියද දැඩිව විවේචනයට ලක්වුණි.
මේ අතර අගමැති ස්කොට් මොරිසන් ලැව්ගිනි ආපදාවෙන් දැඩි බලපෑමක් එල්ල වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොබාර්ගෝ (Cobargo) නගරයේ නිරීක්ෂණ චාරිකාවට එක්වුණි.
කෙසේ නමුත් එහිදී කුපිත වූ ප්‍රදේශවාසීන් ආණ්ඩුව පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් අගමැතිවරයාට දෝෂාරෝපණය කළේය.
මේ හේතුවෙන් අගමැතිවරයාට සිය නිරීක්ෂණ චාරිකාව අතරමග නවතා දැමීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




