කළු පැහැයෙන් සැරසුණ දහස් ගණනක් අමෙරිකාවට මරණය ප්‍රාර්ථනා කරයි

Share

අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානි ඇතුළු පිරිසගේ දේහයන් පිළිබඳව අවසන් කටයුතු හෙට(07) සිදුකෙරෙයි.

 

ඉරානයේ ඉහළම නායකයා වන අයතුල්ලා කමෙයිනි අද(06) ටෙහෙරාන් සරසවි භූමියේ දී ජනරාල් සුලෙයිමානිගේ දේහය වෙනුවෙන් යාඥා කිරීමට සහභාගී වීමට නියමිතයි.

ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානිගේ මළසිරුර ඉරානයට රැගෙනවිත් තිබේ.

මරා දැමුණ යුද නායකයාගේ දේහය ඉරිදා අරුණෝදය උදාවීමටත් පෙර නිරිත දිග ඉරානයේ ‘අහ්වාෂ්'(Ahvaz) නගරයට ළඟාවෙද්දී කළු පැහැති ඇඳුමින් සැරසුණ දහස් සංඛ්‍යාත ශෝකී ජනයා නගරයේ වීදිවල ඒකරාශීව අමෙරිකාවට මරණය ප්‍රාර්ථනා කර තිබුණි.

ජනරාල් සුලේය්මානිගේ දේහය ඇතුළත් ඇසුරුම ඉරානයේ ජාතික ධජයෙන් ආවරණය කර තිබුණ අතර, එය යුද හමුදා තූර්ය වාදන මැද ගුවන් යානයෙන් භූමිය වෙත ගෙන එනු ලැබීය.

1980 දශකයේ ඉරාන – ඉරාක යුද්ධයේ දී සොල්දාදුවකු වශයෙන් යුද වැදීම සහ රටේ ඉහළම නායක අයතුල්ලා කමෙයිනිගේ සමීප  හිතෛෂී තැනැත්තෙකු වීම හේතුවෙන් ජනරාල් සුලෙයිමානි යුද විරුවකු ලෙස බොහෝ දෙනෙකුගේ සම්මානයට පාත්‍ර විය.

ජනරාල් සුලෙයිමානිගේ මළ සිරුරත් සමඟ ඔහු හා ඝාතනයට ලක් වූ ඉරානයේ සහාය ලබන ‘කටයිබ් හිස්බුල්ලා’ කණ්ඩායමට අණ දුන් ඉරාක ජාතික අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු සෙසු පිරිසගේ සිරුරුද ඉරානයට ගෙනැවිත් තිබේ.

Read more

Local News