මහ බැංකු වෝහාරික විගණනය ගැන කථානායක තීන්දුව ලබන සතියේ

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් ලබන 21 වෙනිදා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී තීරණයක් ගනු ලබන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

 

මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවීමට කථානායකතුමා පියවර ගත්තේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායකයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේදී කරුණු මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එම විගණන වාර්තා හැකි ඉක්මනින් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ.

එම වෝහාරික විගණන වාර්තා තුළ වසර 2015 ‍ට පෙර කාලයේදී සිදුවූ බැඳුම්කර නිකුතු පිළිබඳ තොරතුරු ද ඇතුළත්ව පවතින බැවින් එම තොරතුරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා අවශ්‍ය බව මෙහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

කරු  ජයසූරි මහතා මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට පෙර අද (14) නීතිපති දප්පුල ද ලිවේරා මහතාව පාර්ලිමේන්තුවේදි මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ඇරඹෙන ලබන 21 වනදායින් පසු කථානායකතුමා තම තීරණය ප්‍රකාශයට පත් කරනු ඇත.

Exit mobile version