තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය තරණය කිරීමට ගිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව තලවකැලේ පොලීසිය පැවසීය.
ඊයේ(16) උදෑසන කදු මුදුණ තරණය කර ආපසු පහලට එමින් සිටින අවස්ථාවේ කඳු වැටිය රක්ෂිතයේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට සහ තම කණ්ඩායමට බඹරුන් පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු කියා සිටියේය.
ග්‍රේට්වෙස්ටර්න් කඳුවැටිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තක් සඳහා කඳුවරු බැදීමට සුදුසු ස්ථානයක් පරික්ෂා කිරීම සදහා පසුගිය 15 දා රාත්‍රි තැපැල් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය වෙත පැමිණ එතැන් සිට තමන් ඇතුළු තවත් විශ්වවිද්‍යාලය සිසුන් අටදෙනෙක් උදැසන 9ට පමණ කදු තරණය ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාල සිසුවා කියා සිටියේය.
ග්‍රේට් වෙස්ටර්න් කදුවැටිය තරණය කිරිමට පැමිණෙන තරුණයන්ට කඳුවැටිය තරණය කිරිමට නොයෙන ලෙසත්, කඳුවැටිය රක්ෂිතයේ බඹරුන් විශාල වශයෙන් කුඩු බැද ඇති බව එම තරුණයන්ව දැනුවත් කරන බව ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින විශ්වවිද්‍යාල සිසුන් කඳු මුදුණේ සිට පහලට බසිමින් සිටින බවත්, එම සිසුන් ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.



