කෙහෙළිය හා හිටපු මුද්‍රණ සංස්ථාවේ සභාපති අල්ලස් නඩුවෙන් නිදහස්

Share

අල්ලස් පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් කොළඹ මහාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.

 

එහෙත් මෙම විත්තිකරුවන්ට එරෙහිව නිසි නීති පටිපාටිය අනුගමනය කරමින් නැවත නඩු පැවරීමට අල්ලස් කොමිසමට හැකියාව තිබෙන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අනාවරණය කළේය.

2012 වසරේ මාර්තු මස 15 වනදා සිට  එම වසරේ අප්‍රේල් මස 14 වන දා දක්වා කාලසීමාව තුළ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් පෞද්ගලික ජංගම දුරකථනයෙහි බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම නඩුව පැවරීමට අදාල එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එය විභාග කොට පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් එම අධිකරණය හමුවේ මතු කර තිබුණි.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීමට තීන්දු කළ අතර එම තීරණයට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉකුත් දෙසැම්බර් මස 20 වනදා  සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේ නඩුවක් ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය අංගයක් බව මෑතකදී අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු තීන්දුවක සඳහන් කර ඇති බවයි.

එහෙත් මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසම එම අවශ්‍යතාව සම්පූර්ණ කර නොමැති හෙයින් එය නීතිය ඉදිරියේ බලරහිත නඩුවක් බවද විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අවශ්‍ය කටයුතු කිරීම සඳහා යොමු කරන ලෙසද නියම කර තිබුණි.

Read more

Local News