හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කළේය.
ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊට අදාළව නොතීසි නිකුත් කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ලබන 23දා ඉදිරිපත් කරන ලෙසද නියෝග කළ බව අප වාර්තාකරු පවසයි.
අනතුරුව මෙම ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය මාර්තු මස 06 වැනිදා සිදුකරන බව විනිසුරුවරයා නියම කළේය.
රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත්දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී තම සේවාදායකයාට නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සැකකාර රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු මතු කර තිබුණා.
එම විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අද දින තීන්දු ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සදහන් කර සිටියේ අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තමන් හමුවේ පවතින බවයි.
ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා තීන්දු කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියා.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධගාර ගත කර ඇප මත මුදාහරින ලදි.



