මුඛ ආවරණ ඉල්ලුම ඉහළට

Share

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවිවීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබේ.

 

ඒ අනුව කඩිනමින් ආනයනය කිරීමටත්  අයෙකුට මුඛ ආවරණ පහක් පමණ ලබා දෙමින් සීමාවක් කරන ලෙසත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම රෝග තත්ත්වය මෙරටද ව්‍යාප්ත වීමක් වුවහොත් යන බියෙන් ඔසුහල් වල ඇති මුඛ ආවරණ ජනතා වැඩි වශයෙන් රැගෙන යන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙවන් පියවරක් ගැනීමට හේතුවී ඇති බව දුරකථනයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසීය.

මෙම රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට ඇති සාර්ථකම ක්‍රියා මාර්ගය මුඛ ආවරණ පැළඳීම බැවින් ඒවා පෙට්ටි වශයෙන් රැගෙන යන තත්ත්වයක් පවතින බව කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මේ වනවිට වෙළඳ පොළේ විශාල වශයෙන් මුඛ ආවරණ නොමැති බැවින් ඒවා අපනයනය කිරීමකින් තොරව වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසට මෙරට මුඛ ආවරණ නිශ්පාදනය කරනු ලබන ආයතන කිහිපය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය කමල් ජයසිංහ මහතා කීය.

මේ අතර කඩිනමින් මුඛ ආවරණ ආනයනය කිරීම පිණිස ඉල්ලා සිටින ව්‍යාපාරිකයින්ට  ඒ සඳහා  කඩිනමින් ලියා පදිංචිය ලබා දෙන බවද පැවසූ ප්‍රධාන විධායක නිලධාරීවරයා එම ආවරණ වැඩි මිලට අලෙවි කිරීමෙන් වැළකිය යුතු බවද පැවසීය.

Read more

Local News