මෙරට සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමට පියවර

Share

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට මෙරට මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති බව ය.

ඔවුන් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන ජාතිකයින් දැනුවත් කෙරෙන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින් හමුවුවහොත් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවනු ඇති.

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව ද වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවා ය.

යම් අයුරකින් සැක සහිත රෝගීන් හමුවුවහොත් ඔවුන් නිරෝධානය කිරීමට පියවර ගන්නා බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර කොරොනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ චීන ජාතික කාන්තාවට අමතරව තවත් 7 දෙනෙකු මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායනයේ ප්‍රතිකාර ලබන බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

බොරැල්ල වෛද්‍ය පරියේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ, වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සාම්පල 2ක් මේ වනවිට තම ආයතනයට ලැබී ඇති බව ය.

එහි ප්‍රතිඵල අද දිනයේ නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව චීනයේ නගර තුනක ජනතාවට මෙරටට ඇතුළුවීමට වීසා ලබාදීම අතිහිටුවා තිබේ.

වූහාන්, හුවැංහැන්ග් සහ ඒසූ එම නගර තුනයි.

මීට අමතරව චීනයේ තවත් නගර 53 ක පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී කළින් වීසා අයදුම් කළ යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගුවන් තොටුපොළේදී හඳුනා ගැනීමේ කටයුතු පුළුල් කර ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Read more

Local News