මේ මොහොතේ එජාප නායකත්වය වෙනස් නොවිය යුතුයි

Share

මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවිය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

 

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(29) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද රැස්විමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙ දී අවදානයට යොමුකිරිමට නියමිත කරුණු පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ, පක්ෂයේ තිබුණේ අර්බුදයක් නොව නව මුහුණුවරකින් ඉදිරියට යන ක්‍රියාවලිය සකස් කර ගැනීමක් බවයි.

එජාපය අලුත් විය යුතු බවත්, එය ජනතාවගේ බලාපොරොත්තුව වන බවත් පැවසු ඒ මහතා එය නිසි ලෙස සිදු නොවු බවත් පැවසීය.

තරුණ නායකත්වයක් සමඟ එජාපය ඉදිරියට එන නව ක්‍රමවේදයක් ගැන අද දිනයේ කථා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර අජිත් පී පෙරේරා මහතා පවසා සිටියේ, ප්‍රශ්න විසඳා ගැනීමට නායකයින් කථා කළ යුතු බවයි.

හොඳ ආරංචියක් එන තුරු සිටින බවත්, තමා සුබවාදීව සිටින බවත් පැවසු ඒ මහතා සවස් වන තුරු බලා සිටින බවත් කියා සිටියේය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසා සිටියේ, නායකත්වය බලෙන් ලබා ගත නොහැකි දෙයක් බවයි.

නායකත්ව ලක්ෂණවලින් ඉදිරියට පැමිණ ලබා ගත යුතු දෙයක් බවත් පැවසු ඒ මහතා, පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සියලු දේ සිදු වෙනු ඇතැයි ද පැවසීය.

මේ මොහොතේ නායකත්වය වෙනස් විය යුතුයි යන මතයේ තමා නොමැති බවත් පැවසු ඒ මහතා, ඉදිරි මැතිවරණය හා පක්ෂ නායකත්ව යනු දෙකක් බව කියා සිටියේය.

පක්ෂ නායකත්වය නොලැබීම මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි යැයි තමා විශ්වාස නොකරන බවත්, නායකත්වය අදාළ වෙලාවේ දී ලබා දෙන බව එජාප නායකයා පවසා ඇති බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News