අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සෙනෙට් සභාව හමුවේ පරාජයට පත්විය.
මේ අනුව සියලු චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස ලැබූ අතර අමෙරිකාවේ 45වැනි ජනාධිපතිවරයා ලෙසින් ඔහු ඉදිරියටත් කටයුතු කරනු ඇති.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ දෝෂාභියෝග චෝදනා දෙකක් ගොනුවී තිබුණි.
ප්‍රතිවාදී ඩිමොක්‍රොටික් පක්ෂය ගෙනා මෙම චෝදනා ද්විත්වය වූයේ බලය අනිසි ලෙසින් භාවිත කිරීම සහ ඒ සම්බන්ධ විභාගයේදී කොංග්‍රසයට බාධා කිරීමයි.
කෙසේ නමුත් තමන්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් වීමට ජනාධිපතිවරයා සමත්ව තිබේ.
අමෙරිකානු සෙනෙට් සභාවේ වැඩි බලය පවතින්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවයි.
එහිදී බලය අනිසි ලෙසින් භාවිතකිරීම යන චෝදනාවට විපක්ෂව ඡන්ද 52ක් සහ පක්ෂව ඡන්ද 48ක් හිමිව තිබුණි.
මේ අතර දෝෂාභියෝග විභාගයේදී කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනාවේදී ට්‍රම්ප්ට පක්ෂව ඡන්ද 53ක් හිමිවෙද්දී, ඔහුට එදිරිව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 47ක් පමණයි.
සෙනෙට් සභාව හමුවේ පැවැති මෙම දෝෂාභියෝග විභාගය සැලකෙන්නේ අමෙරිකානු දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් ලෙසයි.
මීට පෙර ද අවස්ථා දෙකකදී අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනකු වෙත මෙසේ දෝෂාභියෝග චෝදනා එල්ලවී තිබුණි.
එවන් අවස්ථාවකට මුහුණදුන් පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින් 1868 සමයේ ධුර දැරූ ඇන්ඩෘ ජොන්සන් වාර්තා වන අතර දෙවැන්නා වන්නේ 1999 වසරේදී මෙවන් චෝදනාවකට මුහුණදුන් ජනාධිපති බිල් ක්ලින්ටනුයි.
යම් හෙයකින් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු වූවානම් ඔහුට ධුරයෙන් ඉවත්වීමට සිදුවීමට ඉඩ පැවතියේය.




