වෝහාරික විගණන වාර්තාවට මහබැංකුවේ නිරීක්ෂණ ලබා ගන්න තීරණයක්

Share

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරීක්‍ෂණය ලබා ගැනීමට රජයේ මුදල් කාරක සභාව තීරණය කොට තිබේ.

 

වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් මහබැංකුවේ නිරීක්ෂණ ඊළඟ කමිටු රැස්වීම් සඳහා ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ  ඊයේ (05) පැවති කමිටු රැස්වීමේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අවධාරණය කළේය.

ඒ අනුව, 2020 පෙබරවාරි 18 වන දින පැවැත්වීමට නියමිත මීළඟ කමිටු රැස්වීමේදී සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට එදින රැස්වීමට සහභාගී වන්නැයි දන්වන ලෙස සභාපතිවරයා කාරක සභා නිලධාරීන් වෙත දන්වා සිටියේය.

මෙයට අමතරව  එකතු කළ අගය මත පනවන ලද බද්ද 8% දක්වා අඩු කිරීම සඳහා 2005 අංක 06 දරණ පනත මඟින් සංශෝධනය කරන ලද 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතේ 2 අ වගන්තිය යටතේ නියෝගය ලබා දීමද කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, කමිටුව ඊළඟ කාරක සභා රැස්වීමේදී ඉහත කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක මූල්‍ය පැහැදිලිකිරීමක් ද ශ්‍රී ලංකා මහබැංකුවෙන් ඉල්ලා සිටියේය.

මෙයට අමතරව, 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ දුම්කොළ හෝ දුම්කොළ ආදේශක නිෂ්පාදන සඳහා නියෝගය ලබා දීමද කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කමිටුව විසින් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවේ ඉහත කරුණ සම්බන්ධව  දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සාකච්ඡා කර ඊළඟ කමිටු රැස්වීමට පැමිණෙන ලෙසයි.

රජයේ මුදල් කාරක සභාවේ රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, බිමල් රත්නායක, මයන්ත දිසානායක, මහාචාර්ය ආෂු මාරසිංහ සහ ආචාර්ය එස්. එම්. මොහොමඩ් ඉස්මයිල් යන මහත්වරු ද සහභාගී වූහ.

Read more

Local News