එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිවලට අදාළ දුරකථන ඇමතුම් පරික්ෂා කරන්න අවසර

Share

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන දුරකථන ඇමතුම්වලට අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා ලබන 11 වනදා විත්තියේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද(06) නීතිපතිවරයාට නියෝග කළහ.

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරිණි.

නඩුව කැඳවූ විට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා විසින් නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනුවක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන දුරකථන ඇමතුම් උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස මීට පෙර ඉල්ලීමක් කර තිබූ බව සිහිපත් කළේය.

ඒ අනුව අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීමේ කටයුතු ලබන 11 වන දා සිදු කළ හැකි බවට තම පාර්ශවයට දැනුම් දීමක් ලැබී ඇති බවත් ඒ අනුව එම පරිගණක පද්ධති පරික්ෂා කිරීමට අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ලබන 11 වනදා අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කරන ලදී.  අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත ලබන 13 වනදා කැඳවීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබීය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්  ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින්  නව දෙනෙකු නම් කර සිටින අතර ඔවුන් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්  නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

Read more

Local News