පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබු නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 09 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව අද(12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 09 වැනිදා තෙක් කල් තැබුණි.
මෙහිදී නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත වීමට අපේක්ෂා කරන බවත් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය මඟින් පනවා නොමැති බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ගවර්ස් කෝපරේට් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම ,ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අය නම් කර තිබේ.
මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.



