රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.
වත්මන් විපක්ෂනායකවරයා පසුගිය රජය සමයේදී කිසිදු කළමණාකාරීත්වයක් නොමැතිව කටයුතු කර ඇති නිසා, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට වඩා අප සතුටු විය යුත්තේ විපක්ෂනායකවරයාගෙන් රට ගලවාගැනීම පිළිබදව බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
ජනාධිපතිතුමා අද නව දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එතුමාගේ වැඩපිළිවෙල පිළිබදව ප්‍රශංසා කරමින් විපක්ෂනායකවරයාද අද ප්‍රකාශ නිකුත් කරන බවත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට සහභාගී වෙමිණි.
මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ වයික්කාල, රිවෝරිච් හෝටලයේදී පැවැත්විණි.
සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර මේ සදහා පුත්තලම දිස්ත්‍රික්කය සහ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දේශීය උළු කර්මාන්ත හිමියන් සහභාගි වූහ.



