ආනයනික කසල බහාලුම් ප්‍රවාහනයේ තහනම් නියෝගය ඉවත් කරයි ද නැද්ද නියෝගය මාර්තු 4

Share

ඉකුත් වසරේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද කැළි කසළ අඩංගු බහලුම් ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයක් ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන මාර්තු 04 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

 

විදේශවලින් කැළිකසළ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා දැනට කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවතින ආනයනය කරන ලද කැළිකසළ අඩංගු බහාලුම්  නැවත එංගලන්තයට ප්‍රති අපනයනය කිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

එහෙත් එම බහාලුම් ප්‍රවාහනය කිරීම වළක්වාලමින් අධිකරණය විසින් පනවා තිබෙන තහනම් නියෝගය නිසා එම සාකච්ඡා වලට බාධා පැමිණ ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තහනම් නියෝගය හේතුවෙන් අදාළ කැළිකසළ අඩංගු බහාලුම් යළි භාර ගැනීමට එංගලන්ත පාර්ශවයන් අකමැත්ත පළකර තිබෙන බවද සඳහන් කර සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු වලට අනුව අදාළ තහනම් නියෝගය ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 04 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.

Read more

Local News