ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනඟන නව සන්ධානයේ සියලුම වගකිම් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ගාල්ලේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පක්ෂයට සහය දක්වන ප්‍රධාන බලවේග එකතු කර ගනිමින් පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙන බවයි.
ඒ සඳහා නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා විසින් ලබා දෙනු ඇතැයි ද කියා සිටි ඒ මහතා, අග්‍රාමාත්‍ය අපේක්ෂක ධූරයත් සජිත් ප්‍රේමදාස මහතා විසින් දරනු ඇතැයි ද පැවසීය.
සියලු දෙනා එකතු කර ගනිමින් එකමුතුව මෙම අභියෝගයට මුහුණ දෙන බවත් පැවසු මන්ත්‍රීවරයා අවසන් තීරණය ගන්නා තුරු මාධ්‍යයෙන් මතභේදයක් ඇති බව ජනතාවට පෙන්නුම් කරන බවත් කියා සිටියේය.
එජාපයේ මතභේද නොමැති බවත් සියලු දෙනාගේ අදහස්වලට සවන් දී එකමුතුව තීරණයක් ගත් දේශපාලන පක්ෂයක් බව අවසානයේ දී ජනතාවට පෙන්නුම් කරන බවත් ඒ මහතා පැවසීය.
ලාංඡනය පිළිබඳව විවිධ මත ප්‍රකාශ කළත් මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.



