දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප ඉල්ලා ගොනු කළ පෙත්සමේ නියෝගය අප්‍රේල් 02 වැනිදාට

Share

සිර දඬුවම් නියම ව සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ නියෝගය අප්‍රේල් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කළේය.

 

කන්තලේ සීනි සමාගම යළි විවෘත කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා වරදකරු වී සිටියි.

මෙම ඇප ඉල්ලීම අද (17) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අල්ලස් කොමිසමෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන මාර්තු මස 10වන දාට පෙර ගොනුකරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය අප්‍රේල් මස දෙවන දා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරුමඩුල්ල නියෝග කළේය.

ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 දායක දඩයක් නියම කර තිබුණි.

Read more

Local News