වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදය අද

Share

මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබිමේ විවාදය අද ආරම්භ වෙයි.

 

අද(18) සහ හෙට(19) යන දෙදින විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ද අද දිනයේ රැස්වීමට නියමිත අතර ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් කැඳවා තිබේ.

මේ අතර රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද(18) පාර්ලිමේන්තුවේ දී රජයේ මුදල් කාරක සභාව විසින් සලකා බැලීමට නියමිතව තිබේ.

එම යෝජනාව කාරක සභාව විසින් අනුමත කිරීමෙන් පසු ලබන 20 වන දින පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ විවාදය ලබන 20 වන දින පෙරවරු 9.30යේ සිට 12.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු සශෝධන, ආර්ථික සේවා ගාස්තු සංශෝධන සහ වරාය හා ගුවන්තොටුපල බදු සංශෝධන පනත් කෙටුම්පත් 03ක් අද මුදල් කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එම කෙටුම්පත් ද කාරක සභාවේ අනුමැතියෙන් පසු ලබන 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහබැංකු බැදුම්කර පිළිබද වෝහාරික විගනන වාර්තාවට අදාළව මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ ද අද දිනයේ මුදල් කාරක සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Read more

Local News