සයින්දමරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් වශයෙන් උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා 2017 වසරේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයට පත් කෙරුණි.
සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් අලියාර් සහ මොහොමඩ් නවුෆර් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට පාදකවන සයින්දමරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් වශයෙන් උසස් කරමින් පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් දැනටමත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ පෙත්සම්කරුවන් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වය ට අවසර ලබා දුන්නේය.



