යාපනය සරසවි සිසුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග අත්හිටුවයි

Share

ඉකුත් 2019 වසරේ යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ බුදු කුටියක් තැන්පත් කිරීමේ සිද්ධිය මුල් කරගෙන ඇතිවූ මතභේදකාරී  තත්ත්වයෙන් පසුව එහි ශිෂ්‍යයන් පස් දෙනෙකුට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අද(18) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය

 

සිය ශිෂ්‍ය භාවය අත්හිටුවීමේ තීරණය අභියෝගයට ලක් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන් හතර දෙනෙකු හා එක් හින්දු ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ  ප්‍රශ්නගත කරුණ මුල් කරගෙන පෙත්සම්කාර සිසුන් සම්බන්ධයෙන් සිදුකළ විනය ක්‍රියාමාර්ග ඉදිරියට පත්වාගෙන නොයාමට තම සේවාදායකයින් තීරණය කර ඇති බවයි.

එමෙන්ම ශිෂ්‍යභාවය අත්හිටුවා තිබෙන පෙත්සම්කාර සිසුන් පස් දෙනා යළි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එකඟ වන බවද එහි නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

එම කරුණු සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය ද අධිකරණය හමුවේ සිය එකඟතාවය පළ කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශ්වය අතර ඇතිවූ සමතය මත මෙම පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළේය.

Read more

Local News