නාවික හමුදාව විසින් යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
එහි තවත් එක් මෙහෙයුමක් ඊයේ (19) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, නාවික හමුදාව විසින් සිදු කල එම සෝදිසි මෙහෙයුමේදී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට හැකිවී ඇත.
එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1795 ක්, ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 30ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කර ඇත.



