රාජ්‍ය සේවකයින්ගේ සියලු අයිතිවාසිකම් ලබා දිය යුතුයි

Share

රාජ්‍ය සේවකයින්ගේ සියලු අයිතිවාසිකම් ඔවුන්ට ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික වශයෙන්ම තමන් ඉදිරිපත් කළේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැළැස්මක් බවත් ඒ අනුව සමාජයේ සෑම මට්ටමකම සිටින ජනතාවට ජීවත් විය හැකි තත්ත්වයකට ඔවුන්ගේ ජීවන ආදායම නඟා සිටුවීමට තමන් අපේක්ෂා කළ බවත් ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීමට රජය සූදානම් බවත් එසේම සියලු රාජ්‍ය සේවකයින් ද තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඒ ඔස්සේ රටේ ආර්ථිකය නඟා සිටුවීමට හැකියාව ලැබෙනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News