අද තවත් රටවල් හයකින් නව කොරෝනා ආසාදිතයන් වාර්තා විය.
ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,967 ක්.
ලොව පුරා අසූ හය දහසකට වැඩි පිරිසක් අද වන විට නව කොරෝනා වෛරසයට ගොඳුරු වී තිබේ.
එය පැතිර යාම ආරම්භ වූ චීනයේ ගෙවුණු පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 573 දෙනකු වාර්තා වී ඇති අතර අලුතින් වාර්තා වී ඇති මරණ ගණන 2873 ක්.
මතු වූ මෙම තත්වයත් සමඟ චීනයේ කාර්යබහුල නගර ගණනාවක් නිරෝධායනය කිරීම හේතුවෙන් එරට වායු දූෂණය පහත වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
චීනයට පසු වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
ගතවූ පැය 24 තුලදී එරට අලුතින් හමු වී ඇති ආසාදිතයන් ගණන 813 ක්.
දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තාවූ ඉහළම වෛරස් ආසාධිතයින් ගණන මෙයයි.
මේ හේතුවෙන් සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින්නැයි දකුණු කොරියානු රජය දැනුම් දී සිටියි.
කෙසේ වෙතත් දකුණු කොරියාවත් – චීනයත් අතර චීනයට මායිම්ව පිහිටා ඇති උතුරු කොරියාව කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කළ අයුරු එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ රටක් ලෙස තවදුරටත් සිය වාර්තාව රැකගැනීමට ඔවුන් සමත් වී සිටියි.
මේ අතර එම රටවලට ආසන්නයෙන් පිහිටි ජපානයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 940කට ආසන්නයි.
ඒ අතුරින් 705 දෙනකු හමු වී ඇත්තේ යොකෝහමා වරායේ නිරෝධායනය කර ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්.
ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් සේවය කරන ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින් 1000 ඉක්මවන අතර එරටින් මරණ 29 ක් වාර්තා වෙයි.
ප්‍රංශයෙන්ද වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ.
අමෙරිකාවෙන්ද මේ වනවිට කොරෝනා අසාදිතයින් 68 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එරට පළමු මරණය වොෂින්ටන් ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා විය.
අමෙරිකාවට අමතරව තායිලන්තයෙන් සහ ඔස්ට්රේලියාවේන්ද අද පළමුවරට කොරෝනා මරණ වාර්තා විය.
මෙවන් පසුබිමක අද තවත් රටවල් හයකින් නව කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
ඒ කටාරය, අයර්ලන්තය , ආර්මේනියාව, ලක්සර්ම්බර්ග්, ඉක්වදෝරය සහ අසර්බයිජානය යන රටවලින්.
මේ අතර චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට ඉරානයෙන් වාර්තා වී තිබේ.
ඉරානයේ පුද්ගලයින් 210 ක් කොරෝනා හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි.
මේ අතර ඉරානයේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට සායනයක් පවත්වාගෙන ස්ථානයකට කිසියම් පිරිසක් ගිනිතබා ඇති බවට ආන්දෝලනාත්මක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනත් නගරයක ආසාදිතයින් එහි නිරෝධායනය කර ඇති බවට පැවති විශ්වාසයක් මත එම ගිනි තැබීම සිදුකර ඇති බව පැවසෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පැතිරීමේ ගෝලීය අවදානම මේ වන විට උපරිම මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.




