ජනපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමකට විරෝධතා සදහා මෛත්‍රීට කල්දෙයි

Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද සිට සති තුනක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කල් ලබා දුන්නේය.

 

ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට එරෙහිව අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන අය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එම පෙත්සම් කැඳවනු ලැබුවේ එල්.ටී.බී.දෙහිදෙනිය , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.

එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියේය.

තම සේවාදායකයා වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අද දින සිට සති තුනක් ඇතුළත එම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට කල් ලබාදුන්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එතැන් පටන් සති තුනක් ඇතුළත ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම ජුනි මස 26 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මඟින් බරපතළ වැඩ සහිත වසර 19 ක සිරදඬුවමක් නියම කර එය වසර හයකින් ගෙවී යාමට නියෝග කළ බවයි.

මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ අයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ අගතියක් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

ඒ අනුව ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කිරීම තුළින් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඊට අමතරව ඔහු විසින් ප්‍රදානය කරන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News