මැතිවරණය අප්‍රේල් 25

Share

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතාගේ අත්සනින් යුක්තව එම ගැසට් පත්‍රය ඊයේ(02) රාත්‍රියේ නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලය සඳහන් කළේය.

2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළත්ව 2015 සැප්තැම්බර් පළමු වැනිදා ආරම්භ කළ 8 වැනි පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලය මෙම වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය අනූව පාර්ලිමේන්තුව රැස් වී වසර හතර හමාරකට පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවෙයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදුකෙරුණි.

නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අප්‍රේල් මස 25 වන දිනය නියම කර තිබේ.

ඒ අනුව මාර්තු මස 12 වන දින සිට මාර්තු මස 19 වන දින දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා කාලසීමාව ලෙස නම් කර තිබේ.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතයි.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව යළි මැයි මස 14 වන දින රැස් වන බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read more

Local News