සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවු ජනතා සමගි බලවේගය පක්ෂයට තවමත් ඡන්ද ලකුණක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පවසයි.
අද(03) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පක්ෂයේ බහුතරය අලියා ලකුණින් තරග කිරීමට කැමැති බවයි.
අද දවස වන විටත් සමගි ජනබලවේගයේ ලකුණ ඔවුන්ට පවා නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය පවා එම ලකුණ පිළිබඳව දැන ගැනීමට කැමැත්තෙන් සිටින බවත් පැවසු ඒ මහතා, “දුරකථනය“ ලකුණ බව පැවසුවත් නිල වශයෙන් මැතිවරණ කොමිෂම විසින් ඒ බව පවසා නැතැයි ද දිසානායක මහතා කියා සිටියේය.
ජනතා සමගි බලවේගය දේශපාලන පක්ෂයක් මිස එය පෙරමුණක් නොවන බවත් පැවසු ඒ මහතා, එහි සමාජිකත්වය ගත හැක්කේ පක්ෂවලට නොව තනි පුද්ගලයින්ට පමණක් බවත් පැවසීය.
එනිසා ඔවුන් සමඟ ගිවිසුම් ගත වීමට නිල බලයක් තවමත් ලැබී නොමැති බවත් පැවසු දිසානායක මහතා, නීතිමය ගැටළු ඇති විය වගකිව යුතු පක්ෂක් ලෙස ගිවිසුම් ගත වීමට නොහැකි බවත් කියා සිටියේය.
අනිවාර්යෙන්ම මත වාදයක් ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය කිසිවෙකුටත් ලබා දිය නොහැකි බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය වන්නේ අලියා ලකුණ බවත් දෙවැනි විකල්පය හංසයා බවත් තුන්වෙනි ලාංජනයක් ගැන කිසිදු දෙයක් නොදන්නා බවත් දිසානායක මහතා සඳහන් කළේය.



