රැකියාලාභී උපාධිධාරීන්ට මාස 02ක නායකත්ව පුහුණුවක් ලබාදීමට තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රැකියාලාභී උපාධිධාරීන් 45,585 දෙනෙකු සඳහා පත්වීම් ලිපි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බවයි.
පත්වීම් ලද උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු වේ.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථාන හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත අදාළ උපාධිධාරීන් යොමු කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
පත්වීම් ලබන සියලු උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට යටත් වන අතර ඉන් පළමු කන්ඩායම තෝරාගත් ප්‍රදේශවල මාස 02ක නායකත්ව පුහුණුවකට යොමු කෙරෙනු ඇති.
දෙවන කණ්ඩායම අදාළ සේවා ස්ථානය තුළ සිය රාජකාරී කටයුතු පිළිබඳව හා සේවා ස්ථානය පිළිබඳව මාස 02ක අධ්‍යයනයක් කළ යුතු වේ.
එම අධ්‍යයනයෙන් පසු එම ස්ථාන දියුණු කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2021 මාර්තු මස පළමු වැනි දින සිට සියලු අභ්‍යාසලාභීන්ට සේවා මධ්‍යස්ථානයේ ස්ථිර පත්වීම් ලබාදෙන බවයි.



