කොරෝනා නිසා ලොව පුරා මරණ 3198ක්

Share

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කර තිබේ.

 

එමෙන්ම නව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් චීනයෙන් පිටත සිදුව ඇති මරණ සංඛ්‍යාව මේවනවිට 214 දක්වා  ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

මේ අතර කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු බිළිඳා මේවනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එම රෝහල පවසයි.

කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල මහරෝහලට ඇතුලත් කෙරුණු අට මස් වියැති බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පවසයි.

බිළිඳාගේ ඛේඨ සහ රුධිර සාම්පල , මේවනවිට පරීක්ෂණ සඳහා යොමුකර ඇත්තේ යම්හෙයකින් වෛරසය අසාදනය වී ඇත්ද යන්න සොයාබැලීම සඳහායි.

එමෙන්ම අදාළ දරුවාගේ මව්පියන්ද බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නිරීක්ෂණය යටතේ පසුවන බව වාර්තා  වෙයි.

ඉකුත් පෙබරවාරි 27 වැනිදා මෙම බිළිඳා සිය මව සහ පියා සමඟ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ තිබුණි.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ කළ නව කොරෝනා වෛරස ආසාදනය අදවන විට ලෝක බලවතුන් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

නව කොරෝනා ආසාදිතයින් 93 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3198ක් වෙයි.

චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී තිබේ.

සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන දකුණු කොරියාවවෙන් අද වන විට කොරෝනා ආසාදිතයන් 5600 ක් පමණ හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් තිබේ.

එම තත්ත්වය හමුවේ 2020 මාර්තු මස 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුගිය දින 14 ක කාල සීමාවක් කොරියාවේ වාසය කර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සිංගප්පූරුව හරහා ගමන් කිරීමට අවසර ලබා නොදෙන බවත් සිංගප්පූරු ගුවන් සේවය හැර වෙනත් ගුවන් සේවයක් හරහා ගුවන් ගමන් සැලසුම් කරගන්නා ලෙසත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

කෙසේ නමුත් ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව වැඩිම මරණ ප්‍රතිශතයක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එරටින් ආසාදිතයින් 3089ක් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 107ක් සිදුව ඇති පසුබිමකයි.

මෙම අවදානම සලකා ඉතාලියේ පාසල් වසාදැමීමටත්, සියලු ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම වයස්ගත පිරිස් වෙත නිවාස වලින් ඉවතට නොයන ලෙස අවධාරණය කිරීමටත්, සමීප ස්පර්ශවීම් වළක්වාගැනීම සදහා සෑම අවස්ථාවකම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර් එකක් තරම් වූ අවම  පරතරයක් පවත්වාගැනීමටත් ඉතාලි රජය දැනුම්දී තිබුණි.

මැදපෙරදිග කලාපයට අයත් රාජ්‍යයක් වන ඉරානයේද මරණ 92ක් සිදුව ඇති අතර එරටින් වාර්තා වී ඇති නිල ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2922ක් ලෙසින් දැක්විය.

මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් නම්කිරීමට එරට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ වොෂින්ටන් ප්‍රාන්තයෙන් පිටත පළමු කොරෝනා මරණය සිදුවීමෙන් අනතුරුවයි.

මේ අනුව අදවනවිට අමෙරිකාවෙන් ආසාදිතයින් 157ක් වාර්තා වෙද්දී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 11ක්.

එමෙන්ම කැලිෆෝනියාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර සිට ගමන් ආරම්භ කළ සුඛෝපභෝගී නෞකාවක් සම්බන්ධයෙන් නැවතත් ගැටලුවක් මතුව තිබේ.

ඒ අනුව මගීන් 2500කට ආසන්න  පිරිසක් රැගත් ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නම් අදාළ යාත්‍රාවේ ගමන්කළ සහ ඉන් බැස ඉවත්වගොස් ඇති මගීන් සියලුමදෙනා නිරෝධායන වැඩපිළිවෙලක් සදහා යොමුකිරීමට බලධාරීන් පියවරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබුණි.

Read more

Local News