වරෙන්තු ලබා සිටින හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල, රජමල්වත්ත මාවතේ පිහිටි නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.
අද(07) උදෑසන 07.00 ට පමණ නිලධාරීන් කණ්ඩායමක් ඒ මහතාගේ නිවස වෙත පැමිණි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.
විනාඩි 45 ක පමණ කාලයක් නිවසෙන් මෙපිට රැදී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනතුරුව නිවස වෙත ගොස් පරීක්ෂා කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් එම අවස්ථාවේදී රවී කරුණානායක මහතා එම නිවසේ රැඳී නොසිටි බව වාර්තා වෙයි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ(06) වරෙන්තු නිකුත් කළේය.
ඒ අධිකරණය මගින් වරෙන්තුවක් ලබාගෙන රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝෂියස්, කසුන් පළිසේන ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නිකුත් කළ නියෝගයකට අනුවයි.
2016 වසරේ සිදුවූ මහ බංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණි.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ අතර නඩුවේ දසවන සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර නමැත්තාය වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.



