අමෙරිකාව කොරෝනා මර්දනයට නිෂ්පාදනය කළ එන්නත යොදාගනිමින් සිය ප්‍රථම මනුෂ්‍ය අත්හදාබැලීම සිදුකළේය
අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ, මේ යටතේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නීරෝගී පුද්ගලයන් 45 දෙනෙකුට ඉදිරි සති 06ක කාලය තුළ වෛරසය එන්නත් කිරීමට අපේක්ෂා කරන බවයි .
කෙසේ වෙතත් මෙම එන්නතෙහි සාර්ථකත්වය දැනගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති.
මේ අතර ස්පාඤ්ඤය , ඉතාලිය සහ ප්‍රංශයේ රෝහල් කිහිපයක් කොරෝනා ආසාදිත රෝගීන් සිය ගණනකට තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින වෛරස් මර්දන ඔසුවක් ලබාදීමට සුදානම් වේ.
මෙය චීනයේ හූබෙයි පළාතේ රෝගීන්ට ද ලබාදුන් නමුත් මෙතෙක් එය සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කර නොමැත.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ අද සිට සති 02ක කාලයක් සියලු කටයුතු අත්හිටුවීමට ප්‍රංශය පියවර ගත්තේ ය.
ප්‍රංශ ජනාධිපතිවරයා පැවුසවේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, රැකියා කටයුතු, ව්‍යායාම සහ සෞඛ්‍ය සේවා ලබාගැනීම හැර සෙසු කටයුතු සඳහා නිවෙස්වලින් පිටත යන පුද්ගලයන්ට දඬුවම් පමුණුවන බවයි.
ජනතාව නිවෙස්වලින් පිටතට යාම වළක්වා වෛරස් මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් ලක්ෂයක් යොදවන බව ද ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ය.
මේ වනවිට ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් 148 දෙනෙකු මියගොස් ඇති අතර එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6600 ඉක්මවයි.
පියවි ඇසට නොපෙනෙන සතුරා ළඟම සිටිමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ ය.
ඔහු පැවසුවේ වෛරසය මැඩලීමට මුල්තැන දියයුතු බැවින් ප්‍රාදේශීය මැතිවරණයේ දෙවන වටය ද කල්දමන බවයි .
මේ අතර වෛරසය ව්‍යාප්තිය මර්දනයට විදේශීය ජාතිකයන්ට සිය දේශසීමා වසා දැමීමට කැනඩාව පියවර ගත්තේ ය.
කෙසේ වෙතත් අමෙරිකානුවන්ට මෙය අදාළ නොවේ.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමාජ ආශ්‍රයට යාමෙන් හැකිතාක් වැළකී නිවසේ රැඳී සිටින ලෙසයි .
මේ වනවිට කැනඩාවෙන් කොරෝනා ආසාදිතයන් 407 ක් වාර්තාවන අතර එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 4 කි.
සමාජ ආශ්‍රයෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ද ජනතාවට උපදෙස් දුන්නේ ය.
බෝරිස් ජොන්සන් සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ලන්ඩනයේ වෛරස් ව්‍යාප්තිය වේගවත් මුහුණුවරක් ගෙන ඇති බවයි.
බ්‍රිතාන්‍යයට ඉතාලියේ තත්ත්වයට ළඟාවීමට තවත් සති 03ක් පමණක් ගතවනු ඇතැයිද ඔහු පුරෝකතනය කළේ ය.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව 55 කි.
යුරෝපා සංගමයේ රටවල් අත්‍යාවශ්‍ය නොවන සංචාරකයන් සඳහා සිය දේශසීමා වසා දැමීමට සුදානම් වේ.
දේශසීමා කිහිපයක් වසා දැමූ ජර්මනිය සියලු කඩ සාප්පු සහ පොදු ස්ථාන වසා දැමුවේ ය.
බරපතල පුද්ගලයන්ට පමණක් සීමාවීමෙන් තොරව වෛරසය ආසාදනය වී ඇතැයි සැක පලවූ සියල්ලන් පරීක්ෂාවට ලක්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියේ ය.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ලබන අගෝස්තු මස තෙක් පවතිනු ඇති බවයි .
ඉදිරි දින 15 තුළ කණ්ඩායම් ගැසීමෙන් වැළකී , තැබෑරුම් , අවන්හල් , ක්‍රීඩාගාර සහ සෙනග රැඳී සිටින ස්ථාන වෙත යාමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ඔහු ද පැවසුවේ පියවි ඇසට නොපෙනන සතුරකුට රට මුහුණපා සිටින බවයි .
අමෙරිකාවෙන් ආසාදිතයන් 4200 කට අධික පිරිසක් වාර්තා වන අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 74 කි.
පවතින තත්ත්වය යටතේ අමෙරිකාව ආර්ථික අවපාතයකට මුහුණපානු ඇතැයි ද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.
අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවිය සඳහන් කලේ, මේ වනවිට ලොව පුරා 7100 කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර 180 000 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි .




