ශ්‍රීලනීපය තරග කරන ලකුණ පිළිබද අවසන් තීරණයක් නෑ

Share

ඉදිරි මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරගැනීම සඳහා තවත් දින තුනක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක 13 ක් සඳහා අද (17) නාමයෝජනා පත්‍ර භාරදුන්නේය.

 

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයට අත ලකුණින් වෙනම තරග කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් හැකි වී නැත.

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වැදීම සදහා අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂයින් පිරිසකට එම අවස්ථාව අහිමි වීම නිසා දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින් තරඟ වැදිය යුතු යැයි ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ට නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට සහභාගි වීමට නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියද ඔවුන්ට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පිවිසීමට උත්සහ කළත් ඊට අවස්ථාව හිමිවුණේ නැත.

කෙසේ වෙතත් අදාල යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා සාකච්ඡාව අවසන් වුණේ අද යළි හමුවීමේ අපේක්ෂාවෙන්.

ඒ අතරවාරයේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා යාපනය දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අත්සන් කළේය.

අනතුරුව අද දහවල් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි.

Read more

Local News