ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තාවී තිබෙන්නේ ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවූ රට බවට පත්වෙමින්ය.
එරටින් අද වන විට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන අසූදහස ඉක්මවන අතර මරණ 6,803 වාර්තාවී තිබුණි.
බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 19,500 ඉක්මවන අතර ඒ අතරින් 1228 දෙනෙක් මියගොස් තිබේ.
මේ අතර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවටයි එරට සහකාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ජෙනී හැරිස් අනතුරු අඟවයි.
ජර්මනියද වෛරසයේ බලපෑමට වැඩියෙන්ම නතුවූ රටවල් අතරට එක්ව සිටින්නේ ආසාදිතයන් හැටදහසකට වැඩි පිරිසක් වාර්තාවී තිබීම හේතුවෙන්ය.
කොවිඩ් වෛරසයෙන් රටේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ලවී ඇති පසුබිමක එරට හෙස ප්‍රාන්තයේ මුදල් ඇමති තෝමස් ෂැෆර් දිවි නසාගෙන තිබේ.
ඔහු රටේ ආර්ථිකය කඩවැටීම සම්බන්ධයෙන් දැඩි කණස්සලකින් පසුවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
චීනයෙන් ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයන් 31දෙනා අතරින් 30ක්ම විදේශයන්හි සිට පැමිණි අයයි.
ගෙවුණු පැය 24 තුලදී අලුතින් මරණ 4ක් වාර්තාවී තිබූ අතර ඒ සියල්ල වාර්තා වුණේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්ය.
නව කොරෝනා වෛරසයෙන් ඉන්දියාවෙන් මරණ 27 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ දහස ඉක්මවා තිබේ.
මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් පැවසුවේ රට අකර්මණය කිරිමෙන් දිළිඳු ජනතාවට පීඩා එල්ලවීම ගැන සමාව අයදින බවයි.
කෙසේ වෙතත් තම තමන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර, වෛරසය පාලනය කිරීමට පනවා ඇති සීමාවන් පළිපදින ලෙසත් ඒවා උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඔහු අනතුරු අඟවා සිටියේය.




