කළුබෝවිල රෝහලෙන් හමුවූ රෝගියාට කොරෝනා වැළඳුණේ කොහොමද ?

Share

කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග එම රෝගියා රැඳී සිටි වාට්ටුව වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කර තිබේ.

 

රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් ද නිරෝධායනය සඳහා හෝමාගම රෝහලට මාරු කර යැවූ බවයි.

කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු මෙම රෝගියා රෝහලට ඇතුළත් වී ඇත්තේ, පසුගිය 27 වන දා ය.

උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත වූ රෝගියාට කෝවිඩ් 19 පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇත්තේ, හුස්ගැනීමේ අපහසුතාවක් පැන නැගීම හේතුවෙනි.

අදාළ පරීක්ෂාවෙන් පසු එම රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අතර රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, අදාළ රෝගියා රෝහලට ලබා දුන් සායනික ඉතිහාසයට අනුව ඔහු පිටරටක සිට පැමිණි පුද්ගලයෙකු  හෝ කොරෝනා ආසාදිතයෙකුට නිරාවරණය වූ බවට  තොරතුරු නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු  ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි අයෙකු සමග පසුගිය 12 වන දා ආහාර වේලක් ලබා ගැනීම සඳහා ගොස් ඇති බව පවසා ඇතැයි, ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Read more

Local News