දෙවැනියට මිය ගිය කොරෝනා ආසාදිතයා ලංකාවේ ආ ගිය තැන්

Share

නව කොරෝනා රෝගීන් 20 දෙනෙකු අද(31) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 142 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොරෝනා වැළඳි මියගිය දෙවැනි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ මැදියම් රැයේදී මීගමුව නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

මීගමුව මහ රෝහලේදී මියගිය 64 හැවිරිදි පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ සිරුර ඊයේ මීගමුව මහරෝහලේ සිට මීගමුව මහනගර සභා පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා.

ඒ දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු මධ්‍යම රැයේදී සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසීන්ට අනුකූලවයි.

කොරෝනා වෛරසය වැලදී මියගිය මෙම පුද්ගලයා පසුගිය 08වනදා යාපනයේ ඥාති නිවෙසක පැවැති මංගල උත්සවයකට ද සහභාගී වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ, ඔහු පෝරුතොට ගමේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවයි. 

එමෙන්ම කොළඹ සහ කටුනායක ප්‍රදේශවල රැකියාව කරන ඔහුගේ පුතුන් දෙදෙනා ද රෝගී පියා වෙසෙන පෝරුතොට නිවසට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පැමිණ තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ, හෘදයාබාධයකින් සහ ස්වසන ආබාධයකින් පෙළෙන මෙම පුද්ගලයා මෑතකදී මීගමුව වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

පසුගිය 29වනදා ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, ඊයේ පෙරවරුවේ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. 

මෙම 64 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වැළදී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

කෙසේ වෙතත් මොහු පදිංචි ව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ටාක්කියා මාර්ගය සම්පූර්ණයෙන්ම බාහිර සබ්බන්ධතාවලින් තොරව ආරක්ෂක අංශ විසින් හුදකලා කර තිබේ.

ඔහු පදිංචිව සිටි නිවස අද සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර තිබේ.

එහිදී අනාවරණ වූයේ දරුවන් කිහිපදෙනකු සමඟ පුද්ගලයින් 16 දෙනෙකු එම නිවසේ සිටින බවයි.

අනතුරුව එහි සිටි පිරිස හා ඔහුගේ කටුනායක පිහිටි දරුවාගේ නිවෙස් වල සිටින පිරිස නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

සෞඛ්‍ය අංශ පැවසුවේ,  මියගිය පුද්ගලයා ප්‍රතිකාර ලබාගත් ස්ථානවල සිටි පිරිස් ද ස්වයං නිරෝධායනයට ලක්කළ බවයි.

මේ අතර ඔහුට ප්‍රතිකාර සිදුකළ මීගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනය සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයකට ඇතුළත් කෙරුණි.

මේ අතර කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ අයෙකු හමුවීමත් සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනය කෙරුණි.

ඒ අනුව එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක්කිරීම සඳහා යොමු කර තිබේ.

අනෙක් රෝගීන් පිරිස හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වනු ඇති.

Read more

Local News