ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීම සඳහා පුද්ගලයින් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණීම කොරෝනා මර්දන වැඩසටහන්වලට විශාල බාධාවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
ඒ අනුව ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම ක්‍රම 04 ක් ඔස්සේ සිදු කිරීමට නව ක්‍රමවේදයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයින් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම පොලිස් මූලස්ථානය විසින් සිදුකරනු ලබයි.
බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් සේවකයින් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පවරා තිබේ.
බස්නාහිර හැර සෙසු පළාත්වලට අයත් සේවකයින් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත්‍ර නිකුත් කිරීම අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කරනු ඇත.
ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයින් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවල ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදුකරනු ලබයි.
පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව 10ට අඩු ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ.
එසේම අතිශය මානුෂීය හේතූන් මත පුද්ගලයින්ට බලපත්‍ර නිකුත් කිරීමටද පොලිස් ස්ථානවලට අවසර ඇතැයි ජනාධිපති කාර්යාල නිවේදනයේ දැක්වෙනවා.
ජනාධිපති කාර්යාලය,අග්‍රාමාත්‍ය කාර්යාලය ප්රමුඛ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,සංස්ථා,මණ්ඩල හා අධිකාරිවල සේවකයින්ට සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකියි.
එසේ වුවද අවශ්‍යතාවක් නොමැතිව සිය සේවා හැඳුනුම්පත අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවද ජනාධිපති කාර්යාල නිවේදනයේ සඳහන්.
ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.



