සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (13) උදාවෙයි.
මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අපර භාග 8.23ටඅලුත් අවුරුද්ද උදාවීමට නියමිතයි.
අපර භාග එක පසු වී විනාඩි 59ට ආරම්භ කෙරුණු පුණ්‍ය කාලය හෙට අලුයම 2.47 දක්වා ක්‍රියාත්මකයි.
පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ අලුත් අවුරුද්ද සැමරීම වෙනස් මුහුණුවරක් ගෙන ඇත.
අතීතයේ සිටම සිංහල දෙමළ ජනතාව අලුත් අවුරුදු සැමරුම සිදුකරනු ලැබුවේ නැදෑ හිතවතුන් සමඟ එක්ව වුව ද මෙවර සියලු දෙනාට අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ සිය පවුලේ සාමාජිකයින් සමඟ නිවසේ සිටයි.
මෙවර අලුත් අවුරුදු නැකැත්වලට අනුව ආහාර පිසීම අද දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිලියෙළ කර ගැනීම මැනවි බව සඳහන්.
අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බවයි නැකැත් පත්‍රයේ සඳහන් කර ඇත්තේ.
මෙවර අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 9.17ට නැගෙනහිර දිශාව බලා සිදු කළ යුතු බව නැකැත්පත්‍රයේ සඳහන් වෙයි.
රැකි රක්ෂා සදහා පිටත්ව යාම අප්‍රේල් 17 වන සිකුරාදා පුර්ව භාග 7.56ට යෙදී ඇති අතර පැළ සිටුවීමේ නැකත අප්‍රේල් මස 19 වන ඉරු දින පුර්වභාග11.38ට යෙදී තිබේ.
නැකැත් පත්‍රයේ සඳහන් ඇතැම් චාරිත්‍ර රට තුළ පවතින තත්ත්වය හමුවේ සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දලුපොත මහතා සඳහන් කළේ.



