අමෙරිකාවේ පළමු කෙරෝනා මරණය සිදුව ඇති දිනය හෙළිවෙයි

Share

අමෙරිකාවේ පළමු කොවිඩ් 19 මරණය සිදුව ඇත්තේ පෙබරවාරි 6 වන දා කැලිෆෝනියා ප්‍රාන්තයේ දී බවට සිදුකළ විමර්ශනයකදී හෙළිදරව් වී තිබේ.

 

මීට පෙර එරට පළමු මරණය ලෙස හඳුනා ගෙන තිබුණේ පෙබරවාරි 26වන දා සිදුවූ මරණයක්.

මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී කිසිදු අත්වැරදීමකට ඉඩ නොතබන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් පවසයි.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ එක්ලක්ෂ අසූ හතර දහස අතරින් මරණ 47,600 ක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව  2,341 ක්.

එරට සමස්ත ආසාදිතයන් ගණන අද වන විට 848,000 ඉක්මවා තිබේ.

සැන්ටා ක්ලාරා ජනපදයේදී පසුගිය පෙබරවාරි 6 සහ 17 යන දිනවලදී මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් බව මරණ පරීක්ෂණවලින් මේ වන විට හෙළිදරව්වී ඇති අතර ඒ අනුව අමෙරිකාවේ පළමු කොවිඩ් මරණ ලෙස හඳුනාගෙන ඇත්තේ එම පුද්ගලයන් දෙදෙනායි.

මීට පෙර එරට පළමු කොවිඩ් මරණය ලෙස වාර්තාවී තිබුණේ ඉන් සති 2කට පමණ පසු එනම් පෙබරවාරි 26 වන දා සියැටල් නගරයේදී සිදුවූ පුද්ගල මරණයක්.

Read more

Local News