කරූගෙන් ඉල්ලීමක්

Share

ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

 

පාර්ලිමේන්තුව කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් තමන්ට නොමැති අතර මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවක දී අර්ථ නිරූපනයක් ලබාදිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට වන අතර ඉන් ලැබෙන තීන්දුවක දී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැදී සිටින බව කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

කථානායක නිල නිවසේ දී අද(23) පෙරවරුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට සහභාගී වෙමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර තිබේ.

මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙන්ම ආර්.සම්බන්ධන්, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක, තලතා අතුකෝරල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් නියෝජිතයින් සහ ව්‍යවස්ථා සභාවේ මහලේකම් හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී වී සිටි බව සඳහන්.

මෙහිදි සියලු ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කර ඇති අතර කොවිඩ් නයින්ටීන් වසංගතය මෙරට ව්‍යාප්තිය සහ එය වැළැක්වීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වී තිබේ.

එහිදි අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ වසංගත තත්ත්වය හමුවේ මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳ සොයා බලා ඒවා නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

කොවිඩ් නයින්ටින් වසංගතය සමඟ රට තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යවසනයේ දී පටු දේශපාලන වාසී නොතකා සියලු දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම කරූ ජයසූරිය මහතා විසින් අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීමේ දී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු බව ව්‍යස්ථා සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් පෙන්වා දී ඇත.

Read more

Local News