මෘත ශරීර බහාලුම් බෑග් 1000 ඇනවුම ගැන පැහැදිලි කිරිමක්

Share

මෘත ශරීර බහාලන බෑග් 1000ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සිටියේ, එතරම් මරණ සංඛ්‍යාවක් අපේක්ෂාවෙන් නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය අවධාරණය කළේය.

 

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට දැනට රට තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ හමුවේ, එවැනි අවාසනාවන්ත තත්ත්වයක් කිසිදු අවස්ථාවක ඇති නොවන බවය.

මෙරට කොරෝනා මරණ අනුපාතය ද, ඉතා පහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, කොරෝනා පොකුරු ව්‍යාප්තිය නොවීමට අවශ්‍ය සාර්ථක ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

තාක්ෂණික අවශ්‍යතාවක් අනුව, මෘත ශරීර බහාලුම් බෑග්, ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ තොග නිශ්චිත ප්‍රමාණයකින් පවත්වාගෙන යන බව ද, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් ක‍ළේය.

ඔහු පවසන්නේ, තොග පවත්වා ගැනීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සම්බන්ධීකරණයෙන් මෙරටට අවස්ථාව ලබා දී ඇති බවය.

ඉන් ප්‍රයෝජන ගැනීමක් පමණක් මෙහිදී සිදුව ඇතැයි ද, ඔහු සඳහන් කළේය

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවය.

Read more

Local News