අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසල විරෝධතාවයේ යෙදී සිටි විරෝධතාකරුවන්ට පහරදිම තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගතය මර්දනය කිරිමේ දී පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විශිෂ්ඨ සේවාව පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ හැසිරිම මඟින් හානියට පත්වීම කණගාටුදායක බවයි.
සිය “ට්විටර්“ ගිණුම ඔස්සේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ අදාල සිද්ධිය පිළිබඳව කඩිනම් විමර්ශනයක් කර ඊට නිසි පියවර ගත යුතු බවයි.
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද සිය “ට්විටර්“ ගිණුමේ සටහනක් තබා තිබේ.
පොලීසිය විසින් සාමකාමී විරෝධතාවකට පහරදිම බලය අනිසි ලෙස භාවිතා කිරිමක් බව මංගල සමරවීර මහතා පෙන්වා දෙයි.
බියකරු සිහිනයක් දිග හැරෙමින් පවතින බැවින් අවදිවිය යුතු බව ඔහුගේ “ට්විටර්“ ගිණුමේ සටහන් කර තිබේ.
මේ අතර හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ නීතිගරුකව, සාමකාමීව සහ නිසි සුරක්ෂාව සහිතව අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ජනතාව සතුවිය යුතු බවයි.
එම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන අතර එසේ නොවන රටක් නිදහස් රටක් නොවන බව කරූ ජයසූරිය මහතා පෙන්වා දී තිබේ.
සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් රෝගීන් වාර්තා නොවූවද මහජන ඒකරාශිවිම් සඳහා තවමත් අවසර ලබාදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල වාර්තාව කඩිනමින් නීතිපතිවරයා වෙත යොමු කිරිමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.



