ත්‍රිරෝද සංගම් සභාපති ම්ය යාමට පෙර කළ ඉල්ලීම

Share

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මිරිහාන ප්‍රදේශයේදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබේ.

 

තම සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණි.

සුනිල් ජයවර්ධන මහතාට පහරදෙන අයුරු ඇසින් දුටුවෙකු සිය ජංගම දුරකතනයෙන් එය පටිගත කර තිබුණි.

දෙනෝදාහක් බලා සිටියදී සිදුකළ මෙම පහරදීම ඇසින් දුටුවෙක් සිය ජංගම දුරකථනයෙන් එය රූගත කර තිබුණි.

සුනිල් ජයවර්ධන මහතා පහර කෑමට ලක්වන්නේ මහරගම ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති චන්මිල් ඉන්වෙස්මන්ට් පුද්ගලික සමාගම ඉදිරිපිටදීය.

සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් ඇඳිරි නීතිය පැවති පසුගිය මාස තුනක කාලයට අදාළව කල්බදු වාරික නොගෙවීම නිසා මෙම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට සුනිල් ජයවර්ධන මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණි.

වාරික තුනෙහි එකතුව රු.31200 වුවද මෙම මූල්‍ය සමාගම එම කාලයට අදාළව පොළියද එකතුකර රු.35000ක් එකවර ගෙවන ලෙස දන්වා පැහැරගෙන තිබුණේ රජය විසින් ත්‍රී රෝද රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීමට සහනයක් ලබාදී තිබූ පසුබිමකය.

කෙසේවෙතත් අවසන් වරට අදාළ කල්බදු වාරිකය පෙබරවාරි 18 වනදා ත්‍රිරෝද රථ හිමිකරු විසින් ගෙවා තිබුණි.

මේ පිළිබඳව සුනිල් ජයවර්ධන මහතා අදාළ ලීසිං සමාගම සමග මීට පෙර අවස්ථාවක සාකච්ඡා කරන අයුරු සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණි.

සාකච්ඡා අසාර්ථක වූ පසු සුනිල් ජයවර්ධන මහතා මූල්‍ය සමාගමේ අකටයුතුකම් ගැන දුරකථන මාර්ගයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර එම ස්ථානයෙන් තම සංගමයේ ලේකම්වරයා සමග පිටව ගියේය.

පසුව ඔහු යළිත් සවස් කාලයේදී මූල්‍ය සමාගම ඉදිරිපිටට පැමිණ තිබුණි.

නමුත්, ඔහු අපේක්ෂා නොකළ අයුරින් පොලු අතැතිව පැමිණි 8 දෙනෙකුගෙන් යුත් එම ආයතනයට සම්බන්ධ සේවක පිරිසක් ඔහුට සහ ලේකම්වරයාට අමානුෂික ලෙස පහර දී තිබුණි.

දෙනෝදාහක් ජනතාව බලා සිටියදී සිදුවූ මෙම පහරදීම ගැන ඇසින් දුටුවන් 119 දුරකථන අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මිරිහාන පොලිසියේ නිලධාරීන් පැමිණ සුනිල් ජයවර්ධන මහතාව කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය.

කෙසේවෙතත්, බරපතල තත්වයේ පසු වූ සුනිල් ජයවර්ධන මහතා ඊයේ රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්වුණි.

වයස අවුරුදු 53 ක් වූ සුනිල් ජයවර්ධාන මහතා තිදරු පියෙකි.

ඒ මහතාගේ දේහය කැස්බෑව තානායම පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතය.

මේ අතර සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද පස්වරුවේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ගියේය.

සිද්ධිය සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ මිරිහාන පොලීසියේ විමර්ශන නිලධාරීන් පහරදීම සිදුකළ පුද්ගලයින් 8 දෙනාම  අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දහවල් ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ජුනි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ලීසිං සමාගම මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් නොවන බවය.

සුනිල් ජයවර්ධන මහතා පසුගිය 8 වනදා සිය ෆේස් ගිණුම ඔස්සේ හා පුවත්පත්වලට ලීසිං මාෆියාව පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණි.

Read more

Local News