බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවන අදියර සදුදා සිට

Share

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර එළඹෙන සදුදා දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මස 8 වන දින සිට විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය.

“අලුතින් පටන් ගමු, මහ මඟ විනය ඇති කරමු” යන තේමාව යටතේ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තේය.

මෙහි පළමු අදියර මොරටුව සිට කොළඹ කොටුව දක්වාත්, දෙවන අදියර බොරැල්ල සිට කොළඹ කොටුව දක්වාත් මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ අනුව තුන්වන අදියර අනිද්දා උදෑසන 06.00 සිට ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් වීදිය, මාළිඟාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මකවනු ඇති.

බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවන්වලදී එම මංතීරුව තුළ පුද්ගලික සහ ලංගම බස් රථ, ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස්රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනයකරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවලට පමණක් එය භාවිත කළ හැකි බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේය.

Read more

Local News