ගුවන් යානා ඉන්ධන පැටවීමට පෙරහන් පද්ධතියක් කොලොන්නාව නිමාවේ

Share

ගුවන් යානා ඉන්ධන පැටවීම සඳහා අත්‍යවශ්‍ය වූ පෙරහන් පද්ධතිය කොලොන්නාව නිමාවේ ස්ථාපිත කිරීමට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අද (25) සමත් විය.

වසර 17ක් තිස්සේ නොසළකා හැර තිබූ ව්‍යාපෘතියක් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකදී අවසන් කර එහි මෙහෙයුම්ද ආරම්භ කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි.

අභිනවයෙන් ඉඳිකෙරුණු එම පෙරහන් පද්ධතිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් අද විවෘත කෙරිණ. ඒ සමඟින් ගුවන් යානා ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් JIG ආයතනය විසින් මේවනවිට ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන Good සහතිකය Excellent දක්වා ඉහළ නැංවීමට මෙම නව පෙරහන් පද්ධතිය ස්ථාපිත කිරීම හේතුවක් වනු ඇතැයිද ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

JIG ආයතනය හෙවත් Joint Inspection Group යනු අන්තර්ජාතිකව පිළිගත් ආයතනයකි. ගුවන් යානා ඉන්ධන පිරවීමේදී සම්මත ක්‍රමවේද සහ තත්ත්ව පරීක්ෂණ නිසි ලෙස සිදු වන්නේදැයි තහවුරු කිරීම එම ආයතනයේ මූලික කාර්යභාරය වේ.

ගුවන් යානා ඉන්ධන පැටවීමේදී පෙරහන් පද්ධතියක් අත්‍යවශ්‍ය බවට එම ආයතනය විසින් මෙරටට අවස්ථා කිහිපයකදීම නිර්දේශ කර තිබිණ. එම නිර්දේශ මත 2001 වර්ෂයේදී කොළොන්නාව නිමාවෙහි ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඇවැසි මූලික ලිපිලේඛන සැකසුණත් 2017 ජුනි මාසය වන තෙක්ම එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ නැත. කෙසේ නමුත් වසර 17ක් ක්‍රියාත්මක නොවූ එම ව්‍යාපෘතිය මීට මාස තුනකට ඉහතදී ආරම්භ වූයේ එම ප්‍රමාදය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ මෙහෙයවීමෙනි.

 

Read more

Local News