අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කළ බව කියන සිදුවීමට සම්බන්ධ තවත් පොලිස් පරීක්ෂකවරයෙකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවයි.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනෙකු, ලබන 8 වැනිදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය, ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේ ය.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 12 දෙනා අතර පොලිස් පරික්ෂකවරයෙක් , උප පොලිස් පරික්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් අටදෙනෙක් වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සහ සෙසු පුද්ගලයින්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බව, මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.



