ජනපති වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථාන වැඳ පුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්හි නිරත වී තිබේ.

 

ඊයේ (4) පෙරවරුවේ වෙහෙරබැන්දකුටිය රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරි ජිනවංශතිස්ස හිමි බැහැදැක ආශිර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදි ජනාධිපතිවරයා සිල් සමාදන්ව සිටි උපසාක උපාසිකාවන් සහ ප්‍රදේශවාසීන් සමග ද සුහද පිළිසදරක නිරත වී තිබේ.

ශිලාලේඛන සංග්‍රහයට අනුව ක්‍රිස්තු වර්ෂ පස් වන සහ හය වන ශතවර්ෂවල පළමු වැනි භාතිය රජතුමා විසින් වෙහෙරබැන්දකුටිය රජමහා විහාරය ඉදිකර ඇති බව සඳහන්.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ ආගමික වතාවත්වල නිරත වී තිබේ.

අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාවක් ද ජනාධිපතිවරයා අතින් සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට ආශිර්වාද කළ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි කොවිඩ් නයින්ටීන් පාලනයට රාජපක්ෂ මහතා කළ විශිෂ්ඨ මෙහෙවර ගැන ප්‍රසාදය පල කර ඇත.

පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ ජනතා වන්දනාමානයට විවෘත කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධාතූන් වහන්සේ වැද ආශිර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහවතුන් සහ ප්‍රදේශවාසීන් සමග ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත වී තිබේ.

Exit mobile version