කුවේටයේ වීසා නීති උල්ලංඝණය කරමින් රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

Share

කුවේට් රජය විසින් 2018 ජනවාරි මස 29 දින සිට 2018 පෙබරවාරි 22 දින දක්වා වීසා නීති උල්ලංඝණය කර ඇති පුද්ගලයින් සඳහා පොදු සමා කාලයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.
මෙම පොදු සමා කාලය යටතේ නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශීකයින්ට නියමිත කාලය තුළ අදාල දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබාගැනීමේන් තොරව එරටින් පිටවිය හැකියි. මෙසේ පිටවන අයට නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යට පැමිණීමටද (වෙනත් නීතිමය බාධා නොමැති නම්) අවසර ලැබෙනු ඇත.
තවද, මෙම සමා කාලය තුළදී තමන් විසින් ගෙවීමට ඇති අදාළ සියළු දඩ මුදල් ගෙවා, වලංගු වීසා බලපත‍්‍රයක් ලබාගෙන තවදුරටත් කුවේට් රටේ රැඳී සිටීමටද අවසර ලබාදෙනු ඇත.
ගමන් තහනම් හෝ උසාවි මඟින් තහංචි පනවා ඇති අයට මෙම පොදු සමාව අදාළ නොවන අතර, එවැනි නීතිමය ගැටළු ඇති අය ළඟම ඇති ජවසාත් වෙත ගොස් තම ගැටළු විසඳා ගැනීමට පියවර ගත යුතුය.
එසේම මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවිමට අවසර ලබාදී තිබියදීත් එසේ නොකර තවදුරටත් රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් පියවර ගනු ඇත. එමෙන්ම මෙම පොදු සමා කාලය ආරම්භ වන 2018 ජනවාරි මස 29න් පසුව කුවේට් රටට පැමිණෙන හා එදිනෙන් පසු නීති කඩකිරීම් සිදුකරන අය හට මෙම පොදු සමා කාලය හරහා සහනයක් නොලැබේ.

Read more

Local News